සැමියාට ඇප දෙන්න මත්කුඩු විකිණු බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට



(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මත්කුඩු ළඟ තබා ගැනීමේ වරදට රිමාන්ඩ් බාරයේ පසුවන තම සැමියාට ඇප ලබා ගැනීමේ අරමුණින් හෙරොයින් මත්කුඩු විකුණමින් සිටි 28 හැවිරිදි කාන්තාවක් හා ඇගේ සහෝදරයින් දෙදෙනා සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.


එක් දරු මවක වන සැකකාරියගේ ඉනේ සඟවා ගෙන තිබු හෙරෝයින් ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් පොලීසිය සොයා ගෙන ඇත.ස්කූටි වර්ගයේ යතුරු පැදියක් උපයෝගී කර ගෙන ඇය මෙම මත්කුඩු ජාවාරම ජයටම කරගෙන  ගොස් තිබේ.


එම කාන්තාවගෙන් මත්කුඩු මිලදී ගැනීම සදහා පැමිණී බව කියන ඇගේ අයිය මලෝ දෙදෙනා හෙරෝයින් මිලි ග්‍රෑම් 350 ක්‍ සමඟ පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.


එම තිදෙනාම මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළේය.


සැකකාරියගේ සැමියා මීට මාස කිහිපයකට පෙර මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වන නිසා ඔහුට ඇප ලබා ගැනීමට වියදම් කිරීම සදහා මෙම ජාවාරම කර ගෙන ගිය බව ඇය පොලීසියට පවසා තිබේ.