විනීතා එම් ගමගේ
සෞදි අරාබියේ සේවය කළ කාන්තාවක් මියගිය තම සැමියාගේ අවමඟුලට සහභාගී විම සඳහා දෙදිනක් ඇතුළත දී ලංකාවට ගෙන්වා දීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකියාව ලැබී තිබේ.
අම්පාර, මහඔය, දඹදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන ඒ එම් රත්නාවතී මහත්මිය සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරන අතර මියගිය සැමියාගේ අවමඟුලට සහභාගී වීම සඳහා මෙසේ දින දෙකක් ඇතුළත ගෙන්වා ගෙන ඇත්තේ කාර්යංශයේ හා සෞදි තානාපති කාර්යාලයේ ඍජු මැදිහත් වීම මතය.
මෙම කාන්තාව 2016 වසරේ ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගත වී ඇති අතර වසර 2 මාස 5ක කාලයක් එරට නිවෙස් තුනක සේවය කර ඇත.
ඇයගේ සැමියා පසුගියදා හදිසියේ මරණයට පත්වූ අවස්ථාවේ දරුවන් තිදෙනා රැක බලාගැනීමට සහ අවසන් කටයුතු සිදුකිරීම සඳහා වෙනත් කිසිවෙකු නොමැති බව සඳහන් කරමින් ඇය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මහඔය ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ලිපියක් සහිතව එදිනම කාර්යාංශයේ අම්පාර පුහුණු මධ්‍යස්ථානයට පවුලේ ඥාතින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එදිනම මේ පිළිබදව රියාද් තානාපති කාර්යාලයට දැනුම් දුන් අවස්ථාවේ තානාපති කාර්යාලය විසින් සේවක මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ඇති අතර ඇය දැනට සේවය කරන නිවසේ හිමිකාරිණිය සඳහන් කර ඇත්තේ ඇය දිවයිනට එවීමට කටයුතු කළ හැකි බවත් කොපමණ කලක් ගතවේ දැයි කිව නොහැකි බවත්ය.
කෙසේ වෙතත් තානාපති කාර්යාල නිළධාරීන් රත්නාවතී මහත්මිය මුල් වරට සේවය කළ නිවසේ හිමිකරුවන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඇති අතර ඔවුන් ඇය වහා දිවයිනට එවීමට කැමැත්ත පළකර ඇත.
ඒ අනුව රියාද් තානාපති කාර්යාලයේ හා කාර්යාංශයේ මැදිහත් වීම මත ඇය දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවූ අතර ඇයගේ ගුවන් ටිකට්පත තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල මගින් ලබාදී ඇත.
එසේම දිවයිනට පැමිණි පසු සහන පියස සුභසාධන මධ්‍යස්ථානය හරහා මහනුවර දක්වා වෑන් රථයකින් ප‍්‍රවාහන පහසුකම් සලසා දුන් අතර, එතැන් පටන් බස් රථයකින් නිවෙස බලා යාමට අවශ්‍ය ගමන් ගාස්තු ද ඇයට ලබා දී නිවසට යැවු බව කාර්යංශයේ නිලධාරියෙක් පැවැසීය. .