සවුත්ලන්ඩ් විදුහල ඉදිරිපිට මාපිය සත්‍යග්‍රහයට රුහුණු සරසවි සිසුන්ගේ සහය


(ඩී.ජී.සුගතපාල)


ගාල්ල නගර මධ්‍යයේ වෙල්සන්පුර පදිංචි සිසුවියන් හතර දෙනෙකු  ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනිමට විරෝධය පල කරමින් එම සිසුවියන්ගේ මවුපියන් දින 14ක් තිස්සේ පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා  ශිෂ්‍ය සංගමයද අද  (14)පස්වරුවේ ගාල්ල නගරයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුහ.


සවුත්ලන්ඩ් විදුහල ඉදිරිපිට සත්‍යග්‍රහය පවත්වන අට්ටාලය ඉදිරිපිටට රැස්වු භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශ්ව  විද්‍යාල සිසුන් “අල්ලපු වැටේ සිසුවියන්ට ,සවුත්ලන්ඩ්ස් එකේ දොර වැහිලා,සල්ලි කුට්ටි ආපු තැනට,ඉබේම එහි දොර ඇරිලා, දවස් ගණන් අට්ටාලේ,බලධරයින් මර නින්දේ,සිසුවියන්ට යුක්තිය කෝ,දරු ජීවිත මහපාරේ“ආදි සටන් පාඨ කියමින් උද්ඝෝණය කිරිමෙන් පසුව අසාධාරණයට ලක්වු සිසුවියන්ද පෙරටුකරගෙන  බස් නැවතුම්පොල දක්වා පොලපාලියකින් පැමිණ එහිදීද සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණහ.


එම දැරියන්ගේ මව්පියන් පැවසුවේ තමන් දුප්පත් නිසා ඔප්පු නැතැයි කියමින්  දරුවන් පාසලට ඇතුළත් කර ගැනිම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරන බවයි.


ස්ථිර ඔප්පු නැති උනත් නගර සභාවෙන් දීපු බලපත්‍ර තිබෙන බවත් ජලබිල් වතුර බිල් වරිපනම් බිල් ආදි සියල්ල තමන් සතුව ඇති බවත් ඔවුහු පැවසුහ.