සමෘද්ධි බැංකු පිහිටි ඉඩම් පවරා දෙන්නැයි කළ ඉල්ලීම ඉවතට


(මොහොමඩ් ආසික්)
 
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට අයත්  සමෘද්ධි බැංකු සංගම් ගොඩනැගිලි පිහිටි ඉඩම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දෙන ලෙස කර තිබූ ඉල්ලීමකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සියලු දෙනා විරුද්ධ වීම නිසා  එම ඉල්ලීම ඒකමතිකව ප්‍රතික්ෂේප විය.
 
අද (29) හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති විජේසේකර මැදගෙදර මහතාගේ ප්‍රදානත්වයෙන්  බරිගම පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මෙම මහ සභා රැස්වීම පැවැත්විණි.
 
එහිදී මෙම ඉල්ලීම සහිත ලිපිය ඉදිරිපත් කරමින්  වැඩබලන සභාපති විජේසේකර මැදගෙදර මහතා පැවසුවේ  ප්‍රාදේශිය  සභාවක වගකීම සභාව සතු දේපළ ආරක්ෂා කර ගෙන තවදුරටත් ඒවා වර්ධනය කර ගැනීම නිසා මෙලෙස එක එක ආයතන ඉල්ලන ආකාරයට සභාවේ  දේපල පවරා දීමට තමන් විරුද්ධ වන බවයි.
 
 හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ පිහිටි වරාතැන්න,බරිගම සහ සෙනරත්ගම යන  සමෘද්ධි බැංකු ගොඩනැගිලි පිහිටි ඉඩම් මෙලෙස පවරා  දෙන ලෙස ඉල්ලීම කර තිබිණි.