සමූපාකාර ග්‍රාමීය බැංකු සාමාජිකයෝ උද්ඝෝෂණයක


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
අවිස්සාවේල්ල ආසනයේ සමූපාකාර ග්‍රාමීය බැංකු සංගමයේ සාමාජිකයෝ පිරිසක් බස්නාහිර පළාත් සභා ප්‍රධාන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට අද(22) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
 
අවිස්සාවේල්ල ආසනයේ සමුපාකාර ග්‍රාමීය බැංකුවල සාමාජිකයන්ගේ කෝටි 54 මුදල් තැන්පත් කර තිබූ පෞද්ගලික බැංකුවක් වසා දැමීම හේතුවෙන් එම මුදල් සාමාජිකයන්ට අහිමිවීමේ අවධානමක් මතුව ඇති බව පවසමින් ඊට විරෝධය දැක්වීමට මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
 
ග්‍රාමීය බැංකු 28ක සාමාජිකයන් 49,000කගේ මුදල් රුපියල් කෝටි 99ක් තැන්පත් කර තිබී ඇති ඉන් රුපියල් කෝටි 54ක මුදලක් මෙසේ අස්ථානගත වී ඇතැයි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.
 
මෙම මුදල තැන්පත් කළ බැංකුව ලියාපදිංචි නොකළ බැංකුවක් බවද එම බැංකුව මේ වනවිට වසා දමා ඇති බවද පැවසේ.
 
මෙම මුදල් ප්‍රදේශයේ විහාරස්ථානවල දායක සබාවලට, මරණාධාර සමිතිවලට, ගොවි සමිතිවලට, කාන්තා සමිතිවලට අයත් පොදු ජනතාවගේ මුදල් බවද විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවසූහ.
 
වහාම පළාත් සභාව මැදිහත් වී එම මුදල් සාමාජිකයන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.