සත්ව ආහාර සඳහා යොදාගත් සහල් තොගයක් අත්අඩංගුවට


(තිලකරත්න දිසානායක)

සත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා දේශීය සහල් යොදා ගැනීම තහනම් කොට තිබියදී ජාඇල ,  ඒකල ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනාගාරයක තිබී සුදු  කැකුළු සහල් මෙට්ට්‍රික් ටොන් 243 ක් , පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙළෙඳ අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරක් මත අද  (29) පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් මගින් මෙම වැටලීම් සිදු කොට ඇති අතර මෙම සහල් තොගයෙහි වටිනාකම රුපියල් දෙකෝටි අට ලක්ෂයක් බව විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි ගම්පහ විමර්ශන ඒකකය ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන චතුර හේරත්, හෂාන් කළුබෝවිල ,දිලීප කරුණාරත්න, ඉෂාර හෝමපොල , අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර යන මහත්වරුන් පොලිසියේද සහාය ඇතිව   මෙම වැටලීම සිදු කොට ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.