ශා. ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නකින් අක්කර 100 ක් විනාශයි


(රංජිත් රාජපක්ෂ)  
                      
තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ඉලුක් සහිත රක්ෂිතයේ අද (10) දහවල් හටගත් ගින්නකින් අක්කර 100 පමණ ගිනිගෙන විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.

සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ආසන්නයෙන් හට ගත් ගින්න හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය දක්වා පැතිර යාම හේතුවෙන් තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන් විසින් පැතිර යමින් තිබූ ගින්න පාලනය කරන ලදී.

රක්ෂිතයේ හටගත් ගින්න ප්‍රධාන මාර්ගය අභියස තිබූ වියළී ගිය මැයි මාර ගසකට ඇවිලීමෙන් එම ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් තිබූ නිසා එම ගසද එම ස්ථානයෙන් කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයෝ ක්‍රියාකළහ.

මධ්‍යම කඳුකරයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි තලවකැලේ පොලිසිය සැකකරයි.

මේ අතර ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කොටගල රොසිටා ගොවිපොලේ තෘණ බිමකද අද දහවල් ගින්නනක් හටගෙන තිබේ .

එම ගින්නෙන්ද අක්කර 10 වඩා තෘණබිමේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව  එම ගොවිපොලේ නිලධාරියෙක් පැවසීය.