ශ්‍රීලනිපය අතහැර නොයන්න බදුල්ලේ පළාත් පාලන නියෝජිතයෝ තීරණය කරති


(ප්‍රසාද් රුක්මල් , පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසරි)

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නගරාධිපතිවරුන් , සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් කිසිඳු දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගන්නාවූ තීරණය මත සිටින බවත් අද (15) පස්වරුවේ ඌව පළාත් සභාවේදී අත් ඔසවා ඒකමතිකව යෝජනාවක් සම්මත කළහ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂික හමුව ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී පළාත් පාලන ආයතනවල නියෝජිත පිරිස කියා සිටියේ තමන් කිසිඳු දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන බවත් ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගන්නා වූ තීරණය මත සිටි කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා වූ තීරණ වලට එරෙහිව නොයන බවත් එම තීරණ අනුව කටයුතු කරන බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.