විදේශයේ නිෂ්පාදිත අත්බෝම්බ 4 ක් සොයා ගනී


(සිතුම් චතුරංග)
            
වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලෙහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ හතරක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව පුලියංකුලම පොලිසිය කියයි.

සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට උත්සහ කරන අවස්ථාවේ පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.

පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසකට සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ ලැබුණ තොරතුරක් මත පුලියංකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී සැකකරු රැගෙන ආ ගමන් මල්ලෙහි තිබී මෙම අත්බෝම්බ හා පිස්තෝලය සොයාගත් ගෙන ඇත.

සැකකරුගේ ගමන් මල්ලෙහි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයට යොදන ජීව උණ්ඩ 18ක් , එම පිස්තෝලයේ පතුරම් ගැබක්, මාලිමා යන්ත‍්‍රයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ජංගම දුරකථන උපාංග , මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇඟ ගල්වන ක‍්‍රීම් වර්ග, පිස්තෝල සඳහා යොදන ලිහිසි තෙල් , දත්බෙහෙත් ඇතුළු උපකරණ රාශියක් සොයා ගත් බව පොලිසිය කීය.

ආයුධ රැගෙන ආ සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානමින් පුපුරණ ද්‍රව්‍ය හා පිස්තෝල රැගෙන පැමිණෙන්නට ඇති බවට සැක පලකරන බවත් ගමන් මල්ලෙහි තිබූ පුපුරණ ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂා කිරීමේදී ගිනි අවි සඳහා පුහුණුව ලැබූ අයකු බව පොලිසිය සඳහන් කරයි.