විදුහල්පති ඉවත් කරන්නැයි විරෝධතාවක්


(කේ. බුද්ධික කුමාරසිරි )
 
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා වහා ඉවත් කර තම දරුවන් සහ පාසල බේරා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම පාසලේ දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් පාසල ඉදිරිපිට අද (18) දින උදෑසන විරෝධතාවයක නිරත විය .
 
වර්තමාන විදුහල්පතිවරයා පාසලේ දරුවන්නේ විනය පවත්වගෙන යාම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවත් පාසල තුළ මත්කුඩු පරිහරණය ඉහළ ගොස් ඇති බවත් එම කටයුතු මර්ධනය සදහා කටයුතු කිරීම වෙනුවට ප්‍රවර්ධනය සදහා විදුහල්පතිවරයා සහයෝගය ලබා ආකාරයක් පෙනීයන බැවින් මෙම විදුහල්පතිවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එම දෙමාපිය පිරිස විරෝධතාවයේ නියැලිණි
 
දෙමාපියන් 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා පාඨ කියමින් පැය තුනකට ආසන්න කාළයක් විද්‍යාලය ඉදිරිපිට තම විරෝධය පල කර සිටි අතර තවත් මව්පිය කණ්ඩායමක් කලාප අධ්‍යාපණ නිළදාරීන් හමු වීම සදහා යාමටද කටයුතු කල බව විරෝධතාවයේ යෙදුණු  දෙමාපියන් පැවසූහ.
 
මේ අතර විරෝධතාවය පැවැති ස්ථානයට විද්‍යාලයේ ගුරුවරියක පැමිණ විරෝධතාවයට  විරුද්ධත්වය පල කිරීමට යාමෙන් දෙමාපියන් හා අදාල ගුරුවරිය අතර දැඩි උණුසුම් තත්වයක් ද ඇති විය


විරෝධතාවයේ යෙදුනු දෙමාපියන් නගන චෝදනාවන් සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට අප විද්‍යාලයේ විදුහල්පති කේ-කේ- විජේරත්න මහතා මුණ ගැසීමට අවස්තාව ඉල්ලා සිටියද විද්‍යාලයේ ආරක්ෂක අංශ පැවසූවේ විදුහල්පතිවරයා එදින විද්‍යාලයට නොපැමිණුන බවය පසුව විදුහල්පතිවරයාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තද ඔහු කාර්ය බහුල බව පැවසීය.