විදුලිසැර වද්දා ඇතෙකු මරාදැමුවැයි අයෙක් අත්අඩංගුවට



(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය කල්මඩුකුලම් ප්‍රදේශයේ සද්දන්ත ඇතෙකු විදුලිසැර වැදීම හේතුවෙන් මිය ගොස් සිටියදී සොයාගත් බවටත් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

කල්මඩුකුලම් ප්‍රදේශයේ පිහිටි කුඹුරුයායක ඇතා මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් දැක ධර්මපුරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට ගිය කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළී වී ඇත්තේ කුඹුර වටා ඇද තිබූ විදුලි කම්බි දැළ පැටලී තිබූ බවයි.

මේ හේතුවෙන් අදාල කුඹුරුයායේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

මිය ගිය ඇතා අඩි 07 ක උසින් යුත් වයස අවුරුදු 17 ක් පමණ වන තරුණ ජවසම්පන්න ඇතෙකු බවටත් දළ දෙකද අඩි දෙකකට ආසන්න දිගින් යුතු වන බවට වනජීවි නිලධාරීහු පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දින කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිය ගිය ඇතාගේ අවසන් කටයුතුද අද දිනයේදී සිදුකිරීමට නියමිත බවට කිලිනොච්චිය වනජීවි නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.