විදුලි සේවකයන්ට පහර දුන් ප්‍රා. සබා මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ


(අජිත්ලාල් ශාන්තඋදය) 


විදුලිබල මණ්ඩලයේ විදුලි විසන්ධි කිරීමේ රාජකාරියේ නිරත කාර්මිකයෙකුට සහ මනුකියවන්නෙකුට පහරදුන් කලවාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් විදුලිබල මණ්ඩල සේවක පිරිසක් අද (19) කලවානේදී විරෝධතාවක් පැවැත්වූහ.   

                            
 පසුගිය 17 වනදා විදුලි බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමට ගිය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මිකයෙකු වු කේ.කේ.ඩී.සී. සුදර්ශන සහ මනු කියවන්නෙකු වු ඒ.පී.සී.යූ. ප්‍රේමරත්න යන සේවකයන් දෙදෙනාගේ රාජකාරියට බාධාකරමින් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙකු වූ ප්‍රාදේශීය සභා සභික සමීර විමලසේන යන අය විසින් පහර දී ඇත.               

                                          
පහරකෑමට ලක්වූ ඒ.පී.සී.යූ. ප්‍රේමරත්න මහතා කලවාන දිසා රෝහලේ තවම ප්‍රතිකාර ලබයි.   

                                     
සිද්ධිය සම්බන්‍ධයෙන් කලවාන පොලිසියට පැමිණිලි කළ ද පොලිසිය කරන පරීක්‍ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකි බව ද අඳබාල දේශපාලනඥයන් නිසා රාජකාරී කිරීමට නොහැකි වාතාවරණයක් උදාවී ඇති බව ද උද්ඝෝෂකයෝ කීහ.   

                
පහරදුන් තැනැත්තා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස  ඉල්ලා මෙම උද්ඝෝෂණය පවත්වන බව ඔවුහු පැවසූහ.           
මෙම විරෝධතාව පැවති ස්ථානයට කලවාන පොලිසියේ නිලධාරින් පැමිණ උද්ඝෝෂකයන්ට පැවසුවේ සැකකාර ප්‍රාදේශීය සභිකයා ප්‍රදේශයේ නැති නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ බවයි.

(අජිත්ලාල් ශාන්තඋදය  සහ උපේන්ද්‍ර ප්‍රියංකර)