විදුලි රැහැනේ ගැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ඇළට දාලා



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඌරන්ට ඇටවූ විදුලි රැහැනේ ගැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරෙහි අත් පා ගැට ගසා හඳපාන්ගොඩ ගෝනකුඹුර ඇළට දැමූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ බටුගම්පොළ ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අටුගෙදර සුමතිපාල නමැති 50 හැවිරිදි තිදරු පියෙකි.
 
මළ සිරුර ගැටගැසීමට යොදාගත් ලණු, එය රැගෙයාමට උපකාර කරගත් රබර් දර පොල්ලක් සහ මියගිය පුද්ගලයාට අයත් ජංගම දුරකථනයක්ද සොයා ගත් බව පොලිසිය පවසයි.
 
ඉකුත් 19වන දින රාත්‍රියේ යතුරුපැදියකින් නිවසින් පිටවූ තම සැමියා දින දෙකක් ගතවුවද නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අද(22) එම පුද්ගලයාගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.


එම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත  මරණ පරීක්ෂණ කටයුතු පැවැත්විණි.