(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
ගොඩ බෝග වගාවක් වටා ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක පැටලී දර්ශනපුර ප්‍රදේශයේ ගොවියෙකු අද (07) මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
එලෙස මරණට පත්ව ඇත්තේ මැදිරිගිරිය පදිංචි ඩබ්ලිව්.ආර් ජයසිංහ බණ්ඩා නමැති දෙදරු පියෙක් බව පොලිසිය කියයි.
නිරන්තරයෙන් දර්ශනපුර ප්‍රදේශයේ ගොවිබිම්වලට වල් අලි කඩා වැදීම හේතුවෙන් මෙම ගොවිමහතා ඔහු වගා කළ ගොඩ බෝග වගාව ආරක්ෂා කර ගැනීම සඳහා අනවසර විදුලි රැහැන ඇද ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.
ඊයේ (06) රාත්‍රියේ කඩා වැදුණු වල් අලි රංචුවක සිටි අලියෙකු අද අළුයම 6.00 පමණ එළවාදැමීමට උත්සාහ ගන්නා අවස්ථාවේ අලියා මීටර 100 පමණ ප්‍රදෙශයක් මෙම පුද්ගලයා පසුපස පන්නා ඇති අතර එලෙස තම වගා භූමිය ප්‍රදේශයට දුවගෙන ආ මෙම ගොවි මහතා ඔහු විසින් ම ඇද තිබූ අනවසර විදුලි රැහැනේ පැටලී මරණයට පත්ව ඇත.
සිද්ධිය වූ අවස්ථාවේම ඔහු රෝහල් ගත කිරීමට අසල්වාසීන් කටයුතු කර ඇති අතර ඒවනවිටත් ඔහු මරණයට පත්ව සිටි බව ප්‍රදේශවාසීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.