(තිලකරත්න දිසානායක)
ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයෙහි සිසු සිසුවියෝ පිරිසක් අද (29) කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් පසක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
විද්‍යායතනයෙහි 500 ක් පමණ වන මෙම සිසු සිසුවියන් හට මාස තුනක පමණ කාලයක සිට නිසි පරිදි අධ්‍යයන කටයුතු සිදු නොවීම, අවසන් වසර සිසුන්ගේ විභාග ප්‍රතිඵල නිසි අයුරින් ලබා නොදීම, ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති වීම, සීමාවාසික වෛද්‍ය පුහුණුව ප්‍රමාදවීම, යෝජිත ශික්ෂණ රෝහල් සංකීර්ණය සහ යෝජිත නේවාසිකාගාරය ඉදි නොකිරීම යන ගැටළුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණය කළහ.
විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවූ අතර එනිසා සිදුවූ මාර්ග අවහිරතාව මගහරවාලීම සඳහා වීරගුල පොලිස් නිලධාරීහු කටයුතු කළහ.