වෑන්-ලොරි අනතුරකින් දෙදෙනෙක් මරුට


 

 

 

සිතුම් චතුරංග

           

යාපනය - නුවර ඒ නවය මාර්ගයේ පලෙයි , අයියකච්චි ප‍්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගය පසෙක නවතා තිබූ විදුලි කණු පැටවූ ලොරි රථයක ගැටී අද (6) අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පලෙයි පොලිසිය කියයි.

හබරණ සිට යාපනය දක්වා විදුලි කණු රැගෙන ගිය ලොරි රථයක් මාර්ගය පසෙක නවතා තිබියදී එයට පිටුපසින් පැමිණි වෑන් රථය ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපනය පේදුරුතුඩුව පදිංචි ලූවිස් ඇන්ටනී නැමති රියදුරු හා සුදාකරන් ප‍්‍රසාන්තනී (41) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය.     

මියගිය දෙදෙනා සහ තුවාල ලැබූවන් එකම පවුලේ ඥාතීන් වේ.

අනතුරින් ඉදිරිපස අසුනේ ගමන්ගත් කාන්තාව හා රියදුරු කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද කීය.

වෑන් රථයේ සිටි සෙසු තුවාලකරුවන් පලෙයි , කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුලත් කර සිටිති.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය කිලිනොච්චිය හා යාපනය රෝහල්වල සිදුකිරීමට නියමිතය.