වැවක දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලි මරුට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි වැවක දිය නාමින් සිටි දෙදෙනෙක් අද (18) දියේ ගිලි මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සහ නාත්තන්ඩිය කහටවිල පොතුවටවන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි එම්.ඒ.ඩි. ඉෂාරා නිලක්ෂී නැමති තරුණියක බව පොලිසිය කියයි.

තරුණිය වැවේ වලකට වැටීමේන් පසුව ඇය බේරා ගැනීමට තරුණයා ගිය අවස්ථාවේ දෙදෙනාම දියේ ගිලි මරණයට පත් වන්නට ඇති බව පොලිසිය පවසයි.

මරණයට පත් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට යැවීමට පොලිසිය කටයුතු කර තිබූ අතර හෙට (19) පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිසිය කියයි.