වවුනියාව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු විරෝධයක



(සිතුම් චතුරංග)
 
උතුරු පළාතේ රෝහල්වල සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය සහයකවරුන් වෙත පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට විරෝධය පළකරමින් වවුනියාව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු අද (02) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
 
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උතුරේ සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහයකවරුන් වෙත පමණක් සේවා කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතාකරන ලෙසට දැනුම්දී එම යන්ත්‍ර ස්ථාපිත කර ඇති බවත් තමන්ට පමණක් එලෙස ක්‍රියාකිරීම අසාධාරණ බවද විරෝධතාකරුවෝ පැවසූහ.
 
රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවයේ සෙසු අංශවලට එලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට උපදෙස් ලබා නොදී ඇති බවත් තමන්ට පමණක් එලෙස සිදුකිරීම උතුරු පළාත් සභාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගෙන ඇති අත්තනෝමතික හා අසාධාරණ තීරණයක් වන බවත් ඔවුහු සඳහන් කළහ.
 
වවුනියාව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු උදෑසන 8.00 සිට රාජකාරීවලින් ඉවත්ව පැය තුනක කාලයක් වැඩවර්ජනයකද නිරතවූහ.   
 
ඇඟිලි සලකුණු කිරීම අනිවාර්ය කර ඇති තීරණය ඉවත්කරගන්නා ලෙසත් නැතිනම් උතුරු පළාතේ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවත් විරෝධතාවයේ නිරත රෝහල් සෞඛ්‍ය කාර්ය සහයකවරු වැඩිදුරටත් පැවසීය.
 
විරෝධතාවය සඳහා වවුනියාව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරු විශාල පිරිසක් එක්ව සිටියහ.