වවුනියාව ප්‍රදේශවාසීන් හා සිවිල් සංවිධාන උද්ඝෝෂණයක



 
සිතුම් චතුරංග
        
ජනතාව පීඩාවට පත් කරවන බඩුමිල අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා වවුනියාව ප‍්‍රදේශවාසීන් හා සිවිල් සංවිධාන අද (23) වවුනියාව නගරයේ විරෝධතාවක නිරතවිණි.


ගොවි කම්කරු අයිතින් සුරැකීමේ සංවිධානය විසින් විරෝධතා වැඩසටහන සංවිධානය කර තිබිණි.


විරෝධතාවයේ නිරතවූවන් පවසා සිටියේ කම්කරුවකු ලබා ගන්නා දෛනික වැටුපට හෝ රටේ පවතින මෙම ආර්ථික රටාව අනුව ජීවත්විය නොහැකි බවත් බඩුමිළ හා ඉන්ධන මිළ අඩුකර ජනතාවට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.


ගොවි කම්කරු අයිතින් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු යු. අයුබ්කාන් මහතා පවසා සිටියේ රජය විසින් උතුරේ හා වෙනත් ප‍්‍රදේශවල මත්පැන් අලෙවිය වැඩිකරලීම සඳහා විශාල ව්‍යාපෘති ආරම්භ කරන බවත් ජීවත්වීම සඳහා මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන කිසිදු ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ නොකර ඇති බවත්ය.


ගොවියාට හා කම්කරුවාට විශාල බදුපටවා දේශපාලඥයින් සුවසේ ජීවත්වන අතර දුප්පත් මනුස්සයාට ජීවත්විය හැකි ආර්ථික රටාවක් රටට සකස් කරන ලෙසටද ඉල්ලා සිටියේය.


පැය දෙකකට ආසන්න කාලයක් වවුනියාව නගරයේ විරෝධතාවය පැවැත්වූ අතර ඒ සඳහා වවුනියාව ප‍්‍රදේශවාසීන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් එක්ව සිටියහ.

(ඡායාරූපය - රොමේෂ් මධුෂංක)