( රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග )
වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලීසිය විසින් සැකකරුවන්ට හා පාසල් ළමුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පවසමින් කනගරායන්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් අද (11) උදෑසන කනගරායන්කුලම් ප්‍රදේශයේදී පැවත්වුණි.
කනගරායන්කුලම් පාසල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වූ ශිවසක්ති ආනන්දන් හා ශාන්ති ශ්‍රී ස්කන්ද රාසා මහත්මිය, නියෝජිතයින් පිරිසක් සහ පාසල් ළමුන් මෙන්ම මව්පියන් ද සහභාගී වූහ.
කනගරායන්කුලම් පොලීසියේ ස්ථානාධිපති වරයා ඇතුලු නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝණය කරමින් සැකකරුවන්ට හා සැකකරුවන්ගේ ළමුන් වූ පාසල් ළමුන්ට පහර දී ඇති බවටත් මේ වන වට එම පාසල් ළමුන් රෝහලගත කර ඇති හෙයින් අදාල ස්ථානාධිපති වරයා ඇතුලු පිරිසට නීතිය ක්‍රියාත්මක කර වහාම එම නිලධාරීන් ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා ඔවුහු එලෙස උද්ඝෝෂණයේ නියැලී සිටිති.
නමුත් මේ සම්බන්ධයෙන් කනගරායන්කුලම් පොලීසියෙන් විමසීමේදී කියා සිටියේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පමණක් අත්අඩංගුවට ගත් බවටත් පාසල් ළමුන්ට හො සැකකරුවෙකුට කිසිදු පහරදීමක් සිදු නොකළ බවත්ය.