වල්ලපට්ටා-කොතල හිඹුටු සමඟ අයෙක් රේගුවෙන් අල්ලයි



( ටී.කේ.ජී.කපිල )

 වල්ලපට්ටා සහ කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

            මෙම පුද්ගලයා ඊයේ (13)  දින දහවල් 2.20 ට තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

           ඔහු විසින් රැගෙන ආ විශාල ගමන් මල්ල පිරෙන්නටම රුපියල් 5,75,000 ක් වටිනා  වල්ලපට්ටා කිලෝ ග්රෑම් 07 යි ග්‍රෑම් 400 ක් සහ කොතළ හිඹුටු කිලෝ ග්රෑම් 17 යි ග්රෑම් 400 ක් අසුරා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

            ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම ද්‍රව්‍යයන් විදේශයන් වෙත රැගෙන යෑම සපුරා තහනම් වේ.

             ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.
ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ .