(ප්‍රියානි මංගලිකා )
මහව රක්ෂිත කැලයක තුවාල ලබා සිටි "කරපටියා"නැමති අලියාට ප්‍රතිකාර කිරීමට ගිය නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ නියාමක වරයෙකු එම අලියා පහර දීමෙන් මරණයට පත්ව ඇති බව නිකවැරටිය වනජීවි කාර්යාලය පවසයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ මීගලෑව, පදවිගම පදිංචි බී.එම්.එස්.බස්නායක (38)නැමති දෙදරු පියෙකි.
පස්වරු 6.00 ට පමන සිදුවු අනතුරින් පසුව,තුවාල ලැබු නියාමක වරයා මහව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බවද වනජීවි කාර්යාලය පවසයි.
මෙම දැවැන්ත අලියා තුවාල ලබා මෙම රක්ෂිතයේ සිටින බවට මහව වන සංරක්ෂණ නිලධාරීන් කළ දැනුම් දීමකට අනුව, ප්‍රතිකාර සඳහා නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ වෛද්‍ය වරයා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එහි ගිය අවස්ථාවේ නියාමකවරයා මෙම අනතුරට ලක්ව ඇත.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ වන සංරක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් එක්ව, තුවාල ලබා සිටින අලියා සොයමින් රක්ෂිතය නීරීක්ෂණය කරමින් සිටින අවස්ථාවේ සැඟවී සිටි අලියා නියාමකවරයාට පහර දී ඇත.
මියගිය නියාමකවරයාගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය අද (07)දින සිදු කිරීමට නියමිතව තිබුණි.
(ඡායාරූපය -කුෂාන් ජයවර්ධන )