වතුර මෝටර් සොරකමේ ගිය 3 ක් අත්අඩංගුවට


(තුසිත කුමාර ද සිල්වා)

නිවාස කිහිපයකින් වතුර මෝටර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සහ ඒවා ප්‍රවාහනය කිරීමට අනුබල දුන් ත්‍රීරෝද රථ රියදුරෙකු මිරිස්වත්ත ප්‍රදේශයේ දී අද (15) සවස අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය නිලධාරීහු  ප්‍රකාශ කළහ.

හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන් අවුරුදු 22 ත්- 26 ත් වයස්වල පසුවන්නන් බව එම ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.

මතුගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසේ තිබූ වතුර මෝටරය ඇතුළු තවත් වතුර මෝටර් තුනක් අලෙවි කර තිබියදී  සොයාගත් බව ද  පොලිසිය කීය.

මෙම වතුර මෝටර් සුලු මුදල් වලට අලෙවි කර ලබාගත් මුදල් වලින් හෙරොයින් පානය කර ඇතැයිද විමර්ශන සිදුකර නිලධාරීහු කියති. අත්අඩංගුවට ගත් සැකකරුවන් මිරිස්වත්ත යගිරල සහ මානාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (16)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.