වජිරජෝති අනුනාහිමි ආදාහන පූජෝත්සවය හේනේගමදී


(මොහොමඩ් ආසික්)  
අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ අනුනායක හරංකහව හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය අත්තරගම වජිරජෝතී මහ නා හිමියන්ගේ දේහය පිළිබඳව වූ ආදාහන පූජෝත්සවය අද (19) සවස හරංකහව හෙනේගම සංඝානන්ද පිරිවෙනේදී පැවැත්විණ.  ආදාහන කටයුතු අලවත්තේගම කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම ආදාහන පූජෝත්සවයට  සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ, මලවතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී  නාහිමියෝද, මහා සංඝරත්නය ඇතුළු දහස් ගණනක් දායක පිරිසක් සහභාගි වූහ.

රාජකීය පණ්ඩිත අති පූජ්‍ය අත්තරගම වජිරජෝතී මහ නා හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය ජනාධිපති සම්බන්ධීකරණ  ලේකම් එරික් වීරවර්ධන මහතා කියැවීය.  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  එවන ලද ශෝක පණිවිඩය රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා කියැවීය. හිටපු  ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කියැවීය.