ලෙඩ වෙලා රෝහල් ගත කළ එස්.අයිට පොලිසියෙනුත් ලෙඩක්



 
(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )   
 
අරණායක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ   තහනම් කිරිමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබේ. 
 
සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ දහවල් අරණායක පොලිසියට පැමිණ රථවාහන අංශයේ ලිපිගොනු පරීක්‍ෂා කිරීමෙන් පසු උපදෙස් පංතියක් සඳහා පොලිස් නිළධාරීන් කැඳවා ඇති අතර එහිදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අදාළ උපදෙස් පංතිය සඳහා සහභාගි වී නැතැයි පොලිසිය කියයි.    ඒ පිළිබඳ සොයා බැලූ සහකාර පොලිස් අධිකාරිවරයා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිසියෙන් බැහැර වී ගොස් ඇත්තේ රාජකාරි සටහනක් නොමැතිව බැවින් ඔහුගේ සේවය අත්හිටුවා  ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
සහකාර පොලිස් අධිකාරි වරයා පොලිස් ස්ථානයට පැමිණීමට පෙර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා   පොලිස් ස්ථානයේ රැඳී සිට ඇති අතර ඔහුගේ රෝගී තත්වයකට ලබාගත් ඖෂධ ගැනීම සඳහා ස්ථානයෙන් බැහැරව නිවසට ගොස්  ඇති බවත්,  ඖෂධ ලබා ගැනීමෙන් පසු ඇති වු ක්ලාන්ත තත්වය හේතුවෙන් ඔහුට නිවසේදිම නින්ද ගොස් ඇති අතර පසුව ඔහුගේ සහෝදරයකු විසින් අරණායක රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර ඇති බවත් දැනගන්නට තිබේ.
 
වැඩ තහනමට ලක්වූ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයකු වන අතර ඔහු පොලිස් සේවයට එක්වී ඇත්තේ 1985 වසරේදීය.  ප‍්‍රදේශයේ ජනතාව අතර ඉහමත් ප‍්‍රසාදයක් දිනා ගනිමින් කැපවී රාජකාරි කළ නිලධාරියෙකු ලෙස එම උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රසිද්ධය. ඔහු දැනට අරණායක රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර සේවය අත්හිටුවීමේ ලිපිය ඔහු වෙත ලබා දීමට කටයුතු කළ බව පොලිසිය කියයි.