ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී ඉන්දු - ලංකා සංස්කෘතික වැඩසටහනක්


(සිරංගිකා ලොකුකරවිට) 
 
ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ළමුන් පිරිසක් ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී අද (04) සංස්කෘතික සන්දර්ශනයක් සඳහා එක්වූහ.
 
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ශාන්ත මාර්ක් ද්විතීය පාසලේ ළමුන් 10 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු මෙම වැඩසටහන සඳහා පැමිණ සිටියහ. ඔවුහු සිරිධම්ම විද්‍යාලයේ ළමුන් හා එක්ව දෙරටේ සංස්කෘතිකාංග ඇතුළත් මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලැබූහ.
 
ඉන්දියාවේ සිට පැමිණි ළමුන් පිරිස දින හයක් ගාල්ලේ රැඳී සිටින අතර ඔවුන් සිරිධම්ම විද්‍යාලයේ ළමුන් 10 දෙනකුගේ නිවෙස් වල නැවතී සිටිමින් ශ්‍රී ලාංකික සිරිත් විරිත්, ආහාර රටාවන් හා භාෂාව සම්බන්දව අවබෝධයක් ලබා ගැනීමට නියමිතය. ගාල්ලේ වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා මොවුන් රැගෙන යෑමටද සැලසුම් කර ඇත.
 
මෙම වැඩසටහනේ දෙවන පියවර වශයෙන් සිරිධම්ම විද්‍යාලයේ සිසු සිසුවියන් 10දෙනා ඉන්දියාවේ මෙවැනිම වාරිකාවකට එක්වීමට නියමිතය.
 
සිරිධම්ම විද්‍යාලයේ විදුහල්පති රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ අධීක්ෂණය යටතේ වැඩසටහන පැවැත්විණ.විද්‍යාලයේ ආචාරිණී තරංගා කඹුරාවල මහත්මිය වැඩසටහන සම්බන්ධීකරණය කළාය.