ලක්ෂ හයක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට


(රොෂාන් දිලිප් කුමාර)
 
සුඛෝපභෝගී කැබ් රථයකින් ලක්ෂ හයක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්රෑම් තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එම මත්කුඩු ද සමඟ අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබේ.
 
අම්බලන්තොට පොලිස් වි‍ශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව තණමල්විල-හම්බේගමුව මාර්ගයේ සුරියආර ප්‍රදේශයේ කළ හදිසි රථ වාහන පරීක්ෂා කිරීමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට පත් සැකකරු පසුගිය පලාත් පාලන මැතිවරණය සඳහා තණමල්විල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු බව හෙළි වී ඇත. 
 
මෙම මත්කුඩු තොගය ඉන්දියාවේ සිට කිලිනොච්චියට ගෙනවිත් එහි සිට හම්බේගමුව ප්‍රදේශයට ගෙන ආ බවට තොරතුරු අනාවරණය වී ඇත.
 
තණමල්විල පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.