ලක්ෂ විසිඅටක මෝටර් රථයක් කොල්ල කෑ 7ක් අත්අඩංගුවට


(කවිතා සුබසිංහ)
 
රුපියල් 2, 850, 000ක් පමණ වටිනා වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
 
මෙම සැකකරුවන් පසුගිය 26වැනිදා කුලී ගමනක් යන මුවාවෙන් ප්‍රවාහන පහසුකම් සපයන ආයනයක මෝටර් රථයකට නැග ගිනි අවි පෙන්වා රියදුරු බිය ගන්වා ඔහුට පහර දී මාකවිට වෙල්යායකට ගෙන ගොස් දමා මෝටර් රථය කොල්ල කා තිබිණි.
 
සැකකරුවන් රාගම, ජාඇල හා කඳාන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 27ත් 35ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
 
ප්‍රධාන සැකකරු භාවිත කළ ව්‍යාජ හැඳුනුම් පත, අපරාධය සඳහා යොදාගත් ජංගම දුරකථන, ලියාපදිංචි අංක තහඩු ගැලවූ කොල්ල කෑ මෝටර් රථය,  එම වාහනයේ ලියාපදිංචි අංක තහඩුව, ගල් කටස් වර්ගයේ ගිනි අවියක් හා පතොරම් කිහිපයක්  සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයා ගත් බව පොලිසිය කියයි.
 
සැකකරුවන් අතර යුද හමුදාවෙන් පලා ගිය අයකු ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.