ලක්ෂ දෙකක විදුලි උපකරණ සොරාගත් අයෙක් අත්අඩංගුවට


(කේ. බුද්ධික කුමාරසිරි)
 
හෙරොයින් මිලදී ගැනීම සඳහා නිවාසවලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදුලි උපකරණ තොගයක් සොරාගත් පුද්ගලයකු අද(04) හබරකඩදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
ඔහු සතුව තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 100 ක් ද පොලිසිය සොයාගෙන ඇත.
 
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ නිවසකින් වරින්වර විදුලි උපකරණ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත,  කළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් මුල්ලේගම සහ පනාගොඩ ප්‍රදේශවල නිවාසවලින් සොරකම් කරන ලද ලැප් ටොප් පරිගණක 3 ක්, විවිධ වර්ගයේ විදුලි උපකරණ, පලංචි, දොරවල් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි එක්දරු පියෙකි. දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති බැවින් දිනපතා හෙරොයින් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සොරකමේ යෙදී ඇති බව සැකකරු පාපොච්චාරණය කළ බවද පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.