(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෝටිපති කාන්තාවකගේ නිවස බිඳ රුපියල් ලක්ෂ 50කට ආසන්න රන් භාණ්ඩ සහ මැණික්, දියමන්ති මෙන්ම මෙරට මුදල් තොගයක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මාදිවෙල, ධර්මපාල මාවත ප්‍රදේශයේ පදිංචි (73) වැනි වියේ පසු වූ කෝටිපති කාන්තාවකගෙන් මෙලෙස මුදල් සොරාගෙන තිබේ.
ධනවත් කාන්තාව තම නිවසේ සේවය සඳහා සිටින ගෘහ සේවිකාව සමඟ ඉකුත් (11) දා දින කොළඹ ප්‍රදේශයේ පිහිටි තරු පංතියේ ප්‍රධාන හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී නිවසට පැමිණීමේ දී නිවසේ උඩු මහලේ පිහිටි නිදන කාමරයේ ජනේලයක් විවෘත කර ඇති බව දැක ඇත.
එයින් කලබලයට පත්වූ ගෘහ සේවිකාව සහ කාන්තාව නිවසේ දොර විවෘත කර උඩු මහලේ පිහිටි නිදන කාමරය දෙසට ගොස් පරීක්ෂාකර බැලීමේදියි කාමරය තුළ තිබූ අල්මාරි සහ වානේ කබඩ් තුළ තිබූ බඩු බාහිර ආදිය ඇද දමා ඇති බව දක්නට ලැබිණි.
එම අල්මාරි ලාච්චුවල දමා තිබූ රුපියල් ලක්ෂ 45කට අධික රන් හා මුතු මැණික්වලින් සෑදූ ස්වර්ණාභරණ හා රුපියල් 150,000 පමණ මුදල් හා ඇමරිකානු ඩොලර් 3000 ක මුදල් ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුව මිරිහාන මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවත් පොලීසිය පවසයි.