(දිලීප් ජයසේකර)
ඉන්දියාවේ සිට ගෙන්වා නිවසක සඟවා තබාගෙන අලෙවි කරමින් තිබූ රුපියල් ලක්ෂ 45ක පමණ වටිනා ග්ලයිෆොසේට් නැමති තහනම් වල් නාශක තොගයක් සුරියවැව මහපැලැස්සේ නිවසක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවෙයි. සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා නියෝග කළේය.
සුරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ නිවසක තහනම් වල් නාශක තොගයක් ඇති බවට ලද තොරතුරකට අනුව සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිවස පරීක්ෂා කර තිබේ.
එහිදී නිවසේ එක් කාමරයක සඟවා තබා තිබූ මෙම ග්ලයිෆොසේට් නැමති තහනම් වල් නාශකය සොයාගෙන තිබේ. එහි ලීටර් 4 බැගින් වූ ප්ලාස්ටික් කෑන් 544ක් සමඟ 28 හැවිරිදි නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇත.
ලිටර් 04 බැගින් වු එක් වල් නාශක කෑන් එකක් රුපියල් 7500ක මුදලකට සැකකරු අලෙවිසැල් වලට අලෙවි කර ඇති අතර පාරිභෝගිකයන්ට එක් වල් නාශක කෑන් එකක් රුපියල් 9000ත් - 10000ත් අතර මුදලකට අලෙවිසැල් වලින් අලෙවි කර තිබේ.