(කුෂාන් ජයවර්ධන)
නීති විරෝධී තංගුස් දැල් හා තහනම් මාදැල් භාවිත කළ පිරිසක් කලාවැව දී අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ හා අනුරාධපුර දිස්ත‍්‍රීක් ධීවර කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරුවන් හා තහනම් දැල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස කලාවැව විජිතපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ බව වැටලීම සිදුකළ නිලධාරීහු පවසති.
වැටලීමේදී කලාවැව තුළ භාවිතය තහනම් කර ඇති මාදැල් 03ක් ද නීති විරෝධී තංගුස් දැල් කිලෝ 100 කට අධීක ප‍්‍රමාණයක් ද සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී මාදැල් භාවිතය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද තංගුස් දැල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුද ඇතුළුව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී දැල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වෙතැයි නිලධාරීහු පවසති.