ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්


මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයට නවීන යටිතල පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකට ඉකුත් දා අත්සන් තැබිණි.
 
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු හා  නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න  යන මහත්වරු ඊට අත්සන් තැබූහ. 
 
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 275 ක මූල්‍ය ප්‍රදානයක් හිමිවන අතර ඒ යටතේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ ශ්‍රවණාගාරය නවීකරණය කිරීම, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පටිගත කිරීමේ හා සංස්කරණය කිරීමේ පහසුකම් සහිත නවීන ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම හා ආයතනය සඳහා වාහන ලබාදීමට අපේක්ෂිතය. 
 
මෙම ව්‍යාපෘතිය ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රජයට සහයෝගය දැක්වීමට ඉන්දීය රජය දරන ප්‍රයන්තයේ තවත් ව්‍යාපෘතියකි.  
 
ශ්‍රී ලංකාව තුළ සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහා ඉන්දියාව මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ ලබා දී ඇති බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 560 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන බවත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.  
 
 
055