රජගලතැන්නේ වන අලියෙකු මරුට


(හිඟුරානේ -නවරත්න සමරතුංග)

දින කීපයක් තිස්සේ මිනිසුන්ට පීඩාකාරී ලෙස ගැවසුන අලියෙකු හදිසියේ රෝගී වෙමින් අද (23) අම්පාර නවගිරියාව වැව් තාවුල්ල අසල කුඹුරක මියගොස් ඇති බව අම්පාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මියගොස් ඇත්තේ අඩි අටක් පමණ වූ වයස අවුරදු 25ත් 30ත් අතර පිරිමි සතෙකි.

සිද්ධිවූ දින රාත්‍රී රජගලතැන්න ග්‍රාමීය පෙදෙසට වල් අලි රංචුවක් කඩාවැදී ඇති අතර වෙඩිදමා එම අලින් පලවාහැරීමට වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් කටයුතු කර ඇත.

එහිදී ගමන් කිරීමේ අපහසුතාවයකින් පසුවූ මෙම අලියා මගහැරී ගොස් ඇති අතර ඒගැන ගම්වාසීහූ උදෑසන සෝදිසි කරන විට මෙසේ  කුඹුරු ලියද්දක මියගෙස් සිටි බව කියති.

ඇදවැටී සිටි අලියාගේ සිරුරේ තුවාල කිසිවක් දක්නට නොමැති බවත් මෙම අලියා දින කීපයක් තිස්සේ ප්‍රදේශවාසීන් පසුපස පන්නා ඇති බව දැන ගන්නට ඇති බවත්  වනජීවී නිලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධව අම්පාර අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අම්පාර වනජීවී පශුවෛද්‍ය සෞඛ්‍ය කළමණාකරන ඒකකයේ පශුවෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්පකුමාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත විය.

අම්පාර වනජීවී කාර්යාලය සහ ගලපිටගල බීට්ටු කාර්යාලය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - හිඟුරානේ -නවරත්න සමරතුංග)

 

(ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල)