රක්ෂිතවලින් පැඟිරි-කුරුදු කපා ජාවාරමක යෙදුණු අයෙකුට දඩ


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

රක්ෂිතවලින් පැඟිරි සහ කුරුදු කපා ජාවාරමක යෙදුණු  පුද්ගලයෙකුට  රුපියල්  50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස  බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (31) දා නියෝග කළේය.

බලන්ගොඩ කිංචිගුනේ  ප්‍රදේශයේ පදිංචි චානක දිල්ෂාන්  නැමැති පුද්ගලයෙකුට මෙලෙස දඩ නියම  විය.

ඉතා  දුර්ලභ  ඒකදේශිය  ශාකයක් ලෙස   හඳුන්වන  පැඟිරි සහ කුරුදු ගස් රක්ෂිතයෙන්  කපා  බලන්ගොඩ මුල්ගම ප්‍රදේශයේ  සතුන්  ඇති  කරන   ගොවිපලක  ගබඩා  කර  තිබියදි  බලන්ගොඩ අඩවි වන නිලධාරි කණ්ඩායමක් විසින්  සොයා  ⁣ගනු ලැබිණි.

ඒ  අනුව  මොහු අත්අඩංගුවට ගෙන  නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට  කටයුතු  කෙරිණි. රක්ෂිතවල ඇති පැඟිරි කුරුදු ගස් කපා ඒවායේ පොතු  අලෙවි  කිරීම සඳහා මෙම ජාවාරමේ යෙදී ඇති බවත්  මෙයට පෙර  මෙවැනි  ජාවාරමක් ප්‍රදේශයේ   සිදු  වී  නොමැති බවත් බලන්ගොඩ අඩවි වන  නිලධාරී විජයන්ත උපුල් මහතා කීය.