රක්වානේ නිවාස 21ක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන්න උපදෙස්


 (ලසන්ත නිරෝෂණ පෙරේරා)      
                            
රක්වාන ගංගොඩවත්ත ප්‍රදේශයේ  පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් මතු වී ඇති බැවින් නිවාස 21 ක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද  (21) උපදෙස් ලබා දී  තිබේ.
                                                         
මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය නිසා ගංගොඩවත්ත ප්‍රදේශයේ බෑවුම් සහිත ස්ථානවල පදිංචිකරුවන්ට තාවකාලිකව ඉවත් වෙන ලෙස උපදෙස් ලබා දී ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.        
                                               
භූවිද්‍යා කාර්‍යංශය මෙම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිතව ඇති බවත් එහි නිගමනය අනුව ගංගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පවුල් 21 ස්ථිරවම ඉවත් කරන්නේදැයි තීරණය කරන බව ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්  කාර්‍යාලය ප්‍රදේශවාසින්ට දැනුම් දී  තිබේ.     
                                                                                       
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි මුදිතා ද සොයිසා මහත්මිය ඊයේ ගංගොඩවත්ත ප්‍රදේශයට ගොස් නායයාමේ අවදානම් කලාපයේ නිවෙස්වල පදිංචිකරුවන් හමුවී සාකච්ඡා කළාය.   
 
එම ප්‍රදේශයේ මාර්ගවලට පස් කඳු කිහිපයක් කඩා වැටී තිබු අතර අවදානම් නිවෙස්වල පදිංචිකරුවන්ට තාවකාලික ආරක්ෂිත ස්ථාන වෙත යෑමට ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරිය උපදෙස් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි මුදීතාද සොයිසා මහත්මිය පැවසුවාය.