යෝධ ඇළ වැසීමෙන් මාලු මිය යයි


(රෝවන් පෙරේරා)

සාලියවැව කලාඔයේ සිට කුඩාඔට්ටුපල්ලම දක්වා ඇති යෝධ ඇළ වසා දැමීමෙන් ලක්ෂ ගණනක් මාලු ඇළේ මියගොස් සිටින අයුරු දක්නට ලැබේ.

කිලෝ මීටර 13 ක් දිග මෙම ඇළ පිරිසිදු කිරීමට සහ එහි ජලජ ශාක ඉවත් කිරීමට මෙලෙස ඇළ වසා දමා තිබේ.

2020 සැප්තැම්බර් 28 වන දින වසා දැමූ මෙම ඇළට තවමත් ජලය මුදා හැරීමක් සිදුවී නොමැත.

සතියක පමණ කාලයක් ගතවීම තුළ ඇළේ ජලය සිඳී ගියද ඇළේ තැනින් තැන රැඳී ඇති වළවල්වල වීශාල වශයෙන් මසුන් එකරාශී වී මියගොස් සිටිති.

මෙලෙස මසුන් මිය ගොස් නරක් වීමෙන්  ප්‍රදේශයේ දුඟදක් හමන බව ගම්වැසියෝ පවසති.

කලාඔය හරස් කරමින් ඉදිකර ඇති අමුණේ සිට කිලෝ මීටර 13 ක් දුරට සකසා ඇති යෝධ ඇළ කුඩා ඔට්ටුපල්ලම වැව දක්වා කුඹුරු සහා ගොඩ බෝග වගාවන් රැසක් පෝෂණය කරමින්  කලා ඔයට ගලා බසී.

කුඹුරු අක්කර 3000 පමණ සහා ගොඩබෝග වගාවන් අක්කර 2000 පමණ සිදුකරන ගොවීන්ට වසරේ දින 365 ම නොකඩවා ජලය සපයන පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති එකම වාරිමාර්ග යෝජනා ක්‍රමයයි.

දින 07 ක් තුල ඇළ තුළ කිසිම සංවර්ධනයක් හෝ ඇළ සුද්ධ කිරීමත් සිදුවී නොමැති අතර නීළබැම්ම වෙහෙරබැඳිගල විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඇතුළු ගම්වැසියන් ඉල්ලා සිටින්නේ කෘෂිකර්මාන්ත කටයුතු වලට මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ලබා ගන්නා මෙම ඇළට ජලය මුදා හැර ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි.