රොමේෂ් මධුෂංඛ
යාපනය සුලිපුරම් ප්‍රදේශයේ දී ඝාතනය කෙරුණු අවුරුදු 6 ක් වයසැති දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට වහාම දඬුවම් දෙන ලෙසට ඉල්ලා යාපනයේ පාසල් දරුවන් හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (26) සහ අද (27) දිනයන් හි උද්ඝෝෂණයන් සංවිධානය කර තිබිණි.
සුළිපුරම් පාසල සහ ඝාතනයට ලක්වූ ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඉගෙනුම ලබන කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ සිසු දරු දැරියන්, ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් එක්ව පාසල් ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසයි.
මේ අතර අදාළ උද්ඝෝෂණයෙන් පසුව උද්ඝෝෂකයින් විසින් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමුවී සංදේශයක් ද බාරදෙමින් පැවසුවේ අදාළ දැරියගේ ඝාතනය පිළිබඳව බලධාරීන් දැනුවත් කොට දැරියගේ ඝාතනයට සම්බන්ධව විධිමත් පුළුල් පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ලබාදෙන ලෙසටයි.
මේ වනවිට ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් හය දෙනෙකු වඩුක්කොඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.