යතුරුපැදි අනතුරකින් මව-පුතු මරුට


(ඩබ්. ඒ. පියතිලක)

හබරණ-පොළොන්නරුව  ප්‍රධාන මාර්ගයේ  මොරගස්වැව ප්‍රදේශයෙදි  අද (03) සිදු වු  ලොරි   රථ දෙකක් සහ යතුරු පැදි අනතුරකින්  යතුරු පැදියේ ගමන් ගත් මව සහ පුතා යන දෙදෙනාම එම ස්ථානයෙදිම මරණයට පත්ව ඇති බව හබරණ පොලිසිය පවසයි.
 
මෙම අනතුරෙන් මියගොස්  ඇත්තේ ජයශ්‍රීපුර, තලාව, අනුරාධපුර  ලිපිනයේ පදිංචි  කුරුණෙගෙදර සංජිව සමකෝන් (30) සහ නන්දාවති මැණිකේ (59) යන මව සහ පුතා බව පොලිසිය සදහන් කර සිටී.
 
මෙම අනතුර සිදුව ඇත්තේ හබරණ දෙස සිට පොළොන්නරුව දෙසට ලොරි රථ දෙකක් සහ යතුරු පැදියක්  ගමන් ගනිමින් තිබු අවස්ථාවකදිය. පොලිසිය කළ විමර්ශන අනුව පොළොන්නරුව දෙස සිටි ප්‍රභූ රථ පෙළක් මොරගස්වැව ප්‍රදේශයේ දී  මාර්ගය ඉදිරියෙන් ගමන් කර තිබේ. ප්‍රභූ රථ පෙළට ඉඩ ලබාදීම සදහා හබරණ දෙසින් පැමිණි  ලොරි රථයක් මාර්ගය පසක නවතා තිබේ. ඒ පසු පස පැමිණි යතුරු පැදිය ද   නවතා තිබේ. යතුරු පැදිය පසු පසින් පැමිණි  තවත් ලොරි රථයක් වේගය පාලනය කර ගත නොහැකිව නවතා තිබු යතුරු පැදියේ ගැටී ඇති අතර එය ගොස් ඉදිරියෙන් නවතා තිබු ලොරි රථයේ ද ගැටී තිබේ.   

සිදු වු  බරපතල තුවාල හේතුවෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා  එම ස්ථානයේ දී ම මරණයට පත්ව ඇති බව හබරණ පොලිසිය පවසයි.