යතුරු පැදිවලින් පැමිණි තරුණයෝ පිරිසක් සිසුවෙකුට පහරදෙති


(තරංග ගුණරත්න)

වැලිගම ජඹුරගොඩ මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පැවැත්වෙන අතරතුරදී අද (24) පාසලට පැමිණි තරුණයන් පිරිසක් සිදුකළ පහරදීමකින් එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

යතුරුපැදි හතරකින් පැමිණි තරුණයන් පිරිසක් විද්‍යාලයට පැමිණ පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකුට පොලුවලින් සිදුකළ පහරදීමක් නිසා තුවාල ලබා ඇති බව පවසමින් එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා වැලිගම වලාන දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

පහරදීමට පැමිණි බව කියන තරුණයන් පිරිස කෝදාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර පහර දීමට පැමිණි බව කියන එක් සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.