මුලතිව් හෝටලයකින් වෝකි ටෝකි - හමුදා නිල ඇඳුම් සොයා ගනී


(සිතුම් චතුරංග)
          
මුලතිව් ආලම්පිල් ප‍්‍රදේශයේ ඉදිකෙරෙන හෝටලයක් තුළ තිබී ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ගමන් කථන (වෝකි ටෝකි) නවයක්, ආරක්ෂක අංශ පළඳින සපත්තු සහ  නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් අද (1) සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.

සොයාගත් උපකරණ අතර විශේෂිත දුරදක්නයක්, යුද හමුදාව භාවිතා කරණ මැගසීන් රඳවනයක්, කිණිස්සක් හා ගමන් කථනයට යොදන බැටරි ද යුද හමුදාව විසින් සොයාගත් බව පොලිසිය පවසයි.

අදාළ හෝටලය විදේශ රටක සිටින පුද්ගලයකු විසින් මුදල් යොදවා සුඛෝපභෝගී හෝටලයක් ලෙස ඉදිකිරීම් කරගෙන යනු ලබන අතර සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ එහි කිසිවෙකු නොසිටි බව යුද හමුදාව පැවසීය.

අව්ලන් රිසෝට් ලෙස මෙම හෝටලයේ නම සඳහන් කර ඇති අතර හමුවූ උපකරණ සහ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇතුළු යුද හමුදා සපත්තු යුගල මෙම ස්ථානයට රැගෙන ආවේ කුමන අරමුණක් සඳහා ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බව යුද හමුදාව පැවසීය.

සොයාගත් උපකරණ හා අනෙකුත් භාණ්ඩ සියල්ල මුලතිව් පොලිසිය වෙත බාරදී ඇත.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.