මුලතිව් මුහුදේ පෙරලුණු ඉන්දීය බෝට්ටුව වෙරළට ගොඩසයි


රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් වලයාලමඩම් මුහුදු ප්‍රදේශයේ දී විපතට පත් ඉන්දියානු ධීවරයින්ට අයත් යැයි සැකකෙරෙන යාත්‍රාවක් පෙරළී මුහුදු වෙරළ දෙසට ගොඩ ගසා ඇති අතර අද (31)  අදාළ යාත්‍රාව ගොඩට ඇදීමේ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය පවසයි.


වලයාල මඩමු මුහුදු තීරයේදී පෙරළී ඇති අදාළ ඉන්දියානු බෝට්ටුව ආන්ද්‍ර ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට සැක පල කරයි. 


මුහුදු වෙරළ දෙසට පාවෙමින් ආ අදාළ බෝට්ටුව ඊයේ (30) සවස ධීවරයින් දැක ඒ පිළිබඳව අසල පිහිටි  68 වැනි සේනාංකයේ යුද හමුදා සෙබලුන් පිරිසකට දැනුම් දීමෙන් පසුව යුද හමුදාවේ ට්‍රැක්ටරයක් යොදා ධීවරයින්ගේ ද සහය ඇති ගොඩට ඇදීමට උත්සහ දැරුව ද එම උත්සහය අසාර්ථක වී ඇත.


නමුත් අද (31) උදෑසන මුලතිව් පොලීසියේ ද සහය ඇතිව අදාළ යාත්‍රාව ගොඩට ඇදීමට පියවර ගෙන ඇති අතර පෙරලුණ බෝට්ටුවේ සිටි ධීවරයින් පිළිබඳව මේ වන තුරුත් කිසිදු තොරතුරක් නොමැති බවට ද බොට්ටුව පෙරළීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවට ද පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය පවසයි.