මීරිගම නිදහස් වෙළඳ කලාපයේ 100කට පීසීආර් පරීක්ෂණ



(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම ලෝලුවාගොඩ නිදහස් වෙළෙද කලාපයේ සේවය කරන අය අතරින් අහඹු ලෙස  තෝරාගත් 100ක් දෙනා අද(31) කෝවිඩ්-19 රෝගය සම්බන්ධයෙන් පී.සී. ආර් පරීක්ෂණයට ලක් කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

ලෝලුවාගොඩ වෙළෙඳ කලාපයේ සියලු ආයතන නියෝජනය වන පරිදි අහඹු ලෙස සේවකයින් අතරින් මෙම  පිරිස් තෝරා ගෙන පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ බව එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

විවිධ පෙදෙස්වලින් වෙළෙද කලාපයේ සේවය සඳහා පිරිස් පැමිණෙන හේතුව මත මෙම පරීක්ෂාව සිදු කරනු ලබන්නේ කිසියම් ආකාරයකින් කෝවිඩ් 19 කොරෝනා රෝගය පැතිරයාමෙන් වළක්වා ගැනීම අරමුණු කරගනිමිනි.

කෝවිඩ් 19 උවදුරෙන් ජනතව ගලවා ගැනීම සඳහා ‍මේ අන්දමට ඉදිරියේදී හදිසි පරීක්ෂාවන් සිදුකිරීමට කටයුතු කෙරෙන අතර පරීක්ෂණයට ලක් කළ අයවලුන්ගේ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු ඉදිරි පියවර ගැනීමටද නියමිතය.

ලෝලුවාගොඩ කොට්ඨාස මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී. රෝහණ මහතා මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අතර මීරිගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත සෙසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද මේ සඳහා දායකත්වය ලබාදුන්හ.