(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජනතාවගේ මුදල් ඉතිරි කිරීම් සහ විදුලි බිල් ගෙවීම් රුපියල් ලක්ෂ ගණනක් අවභාවිතා කර ඇති බව කියන මීරිගම ප‍්‍රදේශයේ උප තැපැල් කාර්යාලයක් මුද්‍රා තබා ආයතනික පරීක්ෂනයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ගම්පහ ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
මෙම උප තැපැල් කාර්යලයෙන් විදුලි බිල් ගෙවීම් කළ පිරිසකට රතු නිවේදන එවා විදුලි බල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කිරීමේදී පීඩාවට පත් වූවන් සොයා බැලීමේදී තමන් ගෙවූ මුදල් නිසි පරිදි ගිණුම් ගත නොකිරීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පහ ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරීන් අදාල උප තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් කළ මූලික පරික්ෂණයේදී එහි ස්ථානාධිපතිනිය ඉතිරි කිරීමේ ගිණුම්වල තැන්පත් කිරීම් හා විදුලි බිල් ගෙවීම් ඇතුළු මුදල් ගෙවීම් බිල්පත්වල පමණක් ලකුණු කර නිසි පරිදි ගිණුම් ගත කර නැති බව හෙළිවීමෙන් පසු වැඩිදුර පරීක්ෂනය සඳහා අදාල උප තැපැල් කාර්යාලය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.
මේ ආකාරයෙන් කොපමණ මුදලක් අවභාවිතා කර ඇද්දැයි හෙළි කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂන පවත්වන බව තැපැල් බලධාරීහු පවසති. මේ ආකාරයෙන් අවභාවිතා කර ඇති මුදල් හෙළි කර ගැනීමෙන් පසු ආයතනික වශයෙන් පරීක්ෂනයක් පවත්වා විනය පියවර ගැනීමට හා නීතිමය පියවර ගැනීමට නියමිත බවද ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.