මිනිස් ඇටසැකිළි හමුවූ ස්ථානයේ අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි


(රොමේෂ් මධුෂංඛ)                 

මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි තිබූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා විසින් නියෝග කරනු ලැබීය.

මේ අනුව ඊයේ සහ අද (01) දිනයන්හි නාවල්කාඩු ප්‍රදේශයේ පිහිටි අදාල ඉඩමේ තිබූ ළිඳක් තුල කැනීම් සිදු කර තවත් මිනිස් ඇටසැකිලි බවට සැකකෙරෙන ඇටසැකිලි තොගයක් මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා පොලීසීයේද සහයෙන් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී ගොඩගනු ලැබීය.

මේ අනුව සොයාගත් සෙසු මිනිස් සිරුරු ඇටසැකිලි කොටස්ද වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කිරීමට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට සිටියේය.

අදාල ස්ථානයේ පසුගිය 30 වනදා ගවයින් රැගෙන ගිය කාන්තාවකට මිනිස් හිස්කබලක් තිබී ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව මිනිස් හිස්කබලක හා ඇටසැකිලි තොගයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

මළසිරු අදාල ස්ථානයේ තිබීම හා එය මිනිස් ඝාතනයක්ද එසේත් නැතිනම් සියදිවි හානිකරගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.