මැර තර්ජනවලට විරෝධය දක්වා කොටගල රෝහලේ වර්ජනයක්


( සුදත් එච්. එම්. හේවා )

කොටගල දිසා රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට එල්ල වී ඇති මැර තර්ජනවලට විරෝධය දක්වමින් වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අද(18)  වැඩ වර්ජනයක් ආරම්භකර තිබේ.

පසුගිය 16 වැනිදා  දින රාත්‍රියේ කොටගල ප්‍රදේශයේ ප්‍රාදේශිය දේශපාලනඥයකු සමඟ පැමිණි දෙසියක පමණ පිරිසක් විසින් එම රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට මැර තර්ජන එල්ල කර එම රෝහලේ විදුරුවක්ද කඩා දමා ඇතැයි පොලීසිය පවසයි.

බීමත්ව ඇද වැටුණ තරුණයකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ පසු  හදිසි ප්‍රතිකාර කර වැඩි දුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට රෝගියා මාරුකර යැවිමේදි රෝහලේ ගිලන් රථයේ රියදුරු නොසිටි බැවින් එම රෝගියාගේ ඥතින් එම රෝගියා ඔවුන්ගේ වාහනයකින් රැගෙන යාමට ඉල්ලා ඇත.

රෝගියා එසේ රැගෙන යාමට අවශ්‍ය කටයුතු  සලසා දීමෙන් පසු එම රෝගියා රැගෙන ගිය බවත් පසුව මෙම ප්‍රාදේශිය දේශපාලකයා 200 පමණ පිරිසක් සමග පැමිණ මෙසේ මැර තර්ජන එල්ල කරමින් රෝහලේ විදුරුවක්ද කඩා දැමු රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

මේ පිළිබඳව පතන දිඹුල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර එයට විරෝධය දක්වමින් රාජකාරී වලින් ඉවත්ව වෛද්‍යවරු ඇතුළු සියළු කාර්ය මණෟඩලය සිය රාජකාරීවලින් බැහැරව ඇත.

මෙම වැඩ වර්ජනය  හේතුවෙන් බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර කිරිම අත් හිටුවා ඇති බවත් වැඩ වර්ජනය පැවතියද නේවාසික රෝගින්ට නිසි පරිදි ප්‍රතිකාර කරන බවද ඔවුහු පවසති.

දිඹුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.