මාළු ගෙන යන මුවාවෙන් බීඩි ගෙන ගිය ලොරියක් අත්අඩංගුවට


සිතුම් චතුරංග
            
මාළු ප‍්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 499 ක් සහිත ලොරි රථයක් අද (31) මන්නාරම නූර්විදිය ජුම්මා පල්ලිය අසල නවතා තිබියදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් නීතිවිරෝධීව මෙරටට බීඩි කොළ තොගය ගෙනවිත් මාළු සමඟ සඟවා අධි ශීතකරණ ලොරි රථයෙන් කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.

බීඩි එතුම් කොළ ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම නාවික හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී පල්ලිය තුළ නවතා තිබූ අධිශීතකරණ ලොරි රථය හා මාළු සමඟ සඟවා තිබූ බීඩි කොළ තොගය හමුවී තිබේ.

නිලධාරීන් ලොරි රථය පරීක්ෂා කරමින් සිටියදී බීඩි කොළ කොළඹට රැගෙන යාමට සූදානම්ව සිටි පුද්ගලයින් දෙදෙනකු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවද පොලසිය පවසයි.

අදාළ ලොරි රථයේ සූක්ෂම ලෙස පොහොර බෑග් 18ක් තුළ සඟවා බීඩි කොළ තොගය අසුරා තිබූ බවත් එහි වටිනාකම ලක්ෂ 20 පමණ වන බවද කීය.