මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා සිහිකර උත්සවයක්


(හර්ෂණ තුෂාර සිල්වා)

සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු කතුවරයකු වන අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා මහතා සිහිපත් කරමින් විශේෂ උත්සවයක් කොළඹ හැව්ලොක් සිටිහි ක්ලබ් හවුස්හිදී අද (12) පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති මොහොම්මද් හම්දල්ලා සයිද්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර, හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන මහින්ද හත්තක සහ ඉසඩීන් අමීන් යන මහත්වරු මෙහිදි අදහස් දැක්වූහ. 

මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති මොහොම්මද් හම්දල්ලා සයිද් මහතා ජයතිලක ද සිල්වා මහතාගේ බිරිඳ සුනිලා ද සිල්වා මහත්මිය සමරු තිළිණයක් සහ පලස්තීන ජාතික අරගලය සංකේතවත් කෙරෙන සළුව එම මහත්මියට පැළැඳවීමට කටයුතු කළේය. 

මෙහිදි ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව, පලස්තීන සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා සංවිධානය සහ ගෝලීය සාධාරණය උදෙසා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සංවිධානය යන සංවිධාන වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන එම්.එන්. අමීන් සහ දයා ලංකාපුර යන මහත්වරු ජයතිලක ද සිල්වා මහතාගේ බිරිඳට සහ එම පවුලට සමරු තිළිණයක් පිළිගැන්වූහ. 

පලස්තීන සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා සංවිධානය සහ ගෝලීය සාධාරණය උදෙසා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සංවිධානය එක්ව එම උත්සවය සංවිධානය කර තිබිණි. 

ගෝලීය සහ සමාජ සාධාරණත්වය සහ පලස්තීන ජනතාවගේ නිදහස උදෙසා ජයතිලක ද සිල්වා මහතා කළ කැපවීම සිහිපත් කරමින් මෙම උත්සවය පැවැත්විණි.

ඡායාරූප ගයාන් අමරසේකර