මාතලේ ලොතරැයි අලෙවි කුටි ඉවත් කෙරේ


(මහේෂ් කීර්තිරත්න) 
 
රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් මාතලේ නගරයේ ඇති ලොතරැයි අලෙවි කුටි එම ස්ථානවලින් ඉවත් කිරීමට මාතලේ මහ නගර සභාව පියවර ගෙන තිබේ.
 
ආරක්ෂක හේතුන් මත මෙම තීරණය ගත් බව නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේය.
 
වසර ගණනාවක් තිස්සේ මෙම අලෙවි කුටි ස්ථානවල තිබූ බවත් ලංකාවේ වෙනත් ප්‍රදේශයකට නැති නීතියක් මාතලේ ක්‍රියාත්මක වන බවත් ලොතරැයි අලෙවි නියෝජිතවරු කිහිප දෙනෙක් පැවසූහ. 
 
ආරක්ෂක අංශවලට තම උපරිම සහය ලබා දෙන බවත්, නගර සභාව විසින් කළ මෙම ක්‍රියා පිළිබඳව සෑහීමට පත් නොවන බවත්, මෙම තත්වය නිසා ලොතරැයි අලෙවි කරන පුද්ගලයින්ගේ රැකියාව ද අවදානමකට ලක්ව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.