මහා පරිමාණයෙන් සිදු කළ වැලි ජාවාරමක් වටලයි



 
අනීෂා මානගේ
 
මහා පරිමාණයෙන් අනවසරයෙන් පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිළධාරින් විසින් වටලනු ලැබීය.


මෙම වැටලීම සූරියවැව බැදිගම්තොට ප්‍රදේශයේ දී සිදුකර තිබේ. මහා පරිමාණයෙන් වැලි ගොඩදැමීමේ නිරතව සිටි පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 


වැලි කැපීමට උපයෝගී කරගත් එස්කැවේටර් යන්ත්‍ර හතරක් පොලිස් බාරයට ගෙන තිබේ. මෙම එස්කැවේටර් යන්ත්‍ර දෙකකට කිසිදු බලපත්‍රයක් නොමැති බව නිළධාරිහු පවසති. 


අත්අඩංගුවට ගත් සැකකරුවන්  බරවකුඹුක, සෙවණගල, හුංගම හා බැදිගම්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 


වැලි ගොඩදැමීම සඳහා ලබාදුන් වෙනත් බලපත්‍රයක් උපයෝගී කරගෙන නිළධාරීන් නොමඟ යවමින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා එස්කැවේටර් යන්ත්‍ර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ. 


ගොඩ දමා ඇති වැලි තොගය සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරින්ගේ ආරක්ෂාව ද යොදා ඇත.